Back to the blog
Paddock Vlog

Road To Formula 1 Series - Ep 01 - WORLD'S MOST FEARLESS DRIVER Formula 1 වලට ආපු විදිහ

World Championships දිනන්නත් කලින්... රෙකෝඩ් පිට රෙකෝඩ් කඩමින් මේ sport එකේ ආධිපත්‍යය පතුරවන්නත් කලින්... "Verstappen" කියන නම Formula 1 වල බලයේ සංකේතයක් වෙන්නත් කලින්, බෙල්ජියමේ ගෙවත්තක පොඩි kart එකක වාඩි වෙලා හිටපු අවුරුදු හතරක පොඩි කොල්ලෙක් හිටියා. ඇස් ලොකු කරගෙන, උපරිම වේගෙන් ගියපු ඒ කොල්ලා, එදා ඒ ගෙවත්තේ ඉඳන් අවුරුදු 17ක් වෙද්දී F1 Grid එකට ආපු ගමන මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ තියෙන අසාමාන්‍යම කතාවක් කිව්වොත් හරි. මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි; උපරිම වේගය, යකඩ වගේ හිතක් සහ එක හීනයක් වෙනුවෙන් හැමදේම කැප කරපු පවුලක කතාවක්.

F1 Paddock SLRoad to Formula 1 Series · 10 min read · Aug 7 ago
About F1 Paddock SLSinhala race-weekend stories, records and the untold tales from the Formula 1 paddock.

World Championships දිනන්නත් කලින්... රෙකෝඩ් පිට රෙකෝඩ් කඩමින් මේ sport එකේ ආධිපත්‍යය පතුරවන්නත් කලින්... "Verstappen" කියන නම Formula 1 වල බලයේ සංකේතයක් වෙන්නත් කලින්, බෙල්ජියමේ ගෙවත්තක පොඩි kart එකක වාඩි වෙලා හිටපු අවුරුදු හතරක පොඩි කොල්ලෙක් හිටියා. ඇස් ලොකු කරගෙන, උපරිම වේගෙන් ගියපු ඒ කොල්ලා, එදා ඒ ගෙවත්තේ ඉඳන් අවුරුදු 17ක් වෙද්දී F1 Grid එකට ආපු ගමන මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ තියෙන අසාමාන්‍යම කතාවක් කිව්වොත් හරි. මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි; උපරිම වේගය, යකඩ වගේ හිතක් සහ එක හීනයක් වෙනුවෙන් හැමදේම කැප කරපු පවුලක කතාවක්.

මේ තියෙන්නේ ඔයාලා ආසම F1 Fan Paddock එකෙන් ගෙනෙන Road To Formula 1 Series එකේ Episode 01.

BORN INTO SPEED

Max Emilian Verstappen ඉපදුනේ 1997 සැප්තැම්බර් 30 වෙනිදා බෙල්ජියමේ Hasselt වල. හැදී වැඩුණේ බෙල්ජියම් දේශසීමාවට කිට්ටුව Maaseik කියන ප්‍රදේශයේ වුනත්, එයා හැමතිස්සෙම ආඩම්බරෙන් කිව්වේ එයා ලන්දේසි ජාතිකයෙක් කියලා. අන්තිමට Formula 1 podium එකේ ඉහළම තැනට එයා අරගෙන ගියෙත් ඒ නෙදර්ලන්ත කොඩියම තමයි. ඇත්තටම කිව්වොත් Max මේ ලෝකෙට ආවේ එයාගේ නහර වල ලේ වෙනුවට engine oil දුවන ගමන්.

එයාගේ තාත්තා, Jos Verstappen කියන්නෙත් Formula 1 grid එකේ හිටපු veteran කෙනෙක්. 1994 ඉඳන් 2003 වෙනකම් Benetton, Arrows, සහ Minardi වගේ teams වෙනුවෙන් රේස් 107කට සහභාගි වුණු දැඩි තරඟකරුවෙක්. 1994 Benetton team එකේ Jos ගේ teammate වුනේ වෙන කවුරුවත් නෙවෙයි, Michael Schumacher! Max ගේ අම්මා, Sophie Kumpen කියන්නෙත් ඒ වගේම දක්ෂ කෙනෙක්. බෙල්ජියමේ karting champion කෙනෙක් වුණු ඇය, Jarno Trulli, Giancarlo Fisichella, වගේම Jenson Button එක්කත් karting කාලේ කරට කර තරඟ කරලා තියෙනවා. ඇයගේ තාත්තා Robert Kumpen ජාත්‍යන්තර මට්ටමේ endurance kart racer කෙනෙක්, ඒ වගේම ඇයගේ මාමා Paul Kumpen කියන්නේ බෙල්ජියමේ PK Racing team එක හදපු GT racing driver කෙනෙක්.

ඉතින් Max Verstappen අහම්බෙන් motorsport වලට ආපු කෙනෙක් නෙවෙයි, එයා ඉපදුනේම මේකටයි!

THE BACKYARD PRODIGY — KARTING 2005–2009

Max මුලින්ම kart එකකට නැග්ගේ වයස අවුරුදු හතරෙදි. ඒ එයාගේ තාත්තා ගෙදර පදින්න හදලා දීපු පොඩි go-kart එකකට. සෙල්ලමක් විදිහට පටන් ගත්තු මේ දේ, අවුරුදු කිහිපයක් යද්දී ගොඩක් serious දෙයක් බවට පත්වුණා. වයස 7 වෙද්දී එයා championship events වලට compete කරන්න පටන් ගත්තා, ඒ වගේම එයාගේ මුළු ජීවිත කාලෙම trademark එකක් වුණු ඒ 'බය නැති කම' සහ 'aggressive විදිහට drive කිරීම' ඒ කාලේ ඉඳන්ම පේන්න තිබුණා.

2005 ඉඳන් 2009 වෙනකම් Verstappen බෙල්ජියමේ සහ නෙදර්ලන්තයේ junior karting championships ඔක්කොම වගේ තමන්ගේ නමට ලියාගත්තා. 2005 සහ 2006 VAS Mini Junior Championship එක දිනුවා. ඊටපස්සේ 2007 දී Dutch Rotax Mini Max Championship එකත්, 2007 සහ 2008 දී Belgian Rotax Mini Max සහ BNL Karting Series titles දෙකත් දිනාගත්තා. 2009 වෙද්දී Pex Racing team එකත් එක්ක CRG customer කෙනෙක් විදිහට රේස් කරපු Max, Belgian KF5 Championship, Rotax Max Challenge Belgium, සහ BNL Karting Series කියන titles ඔක්කොම දිනලා, තමන්ට වඩා දෙගුණයක් වයස drivers ලාටවත් නැති විදිහේ පාලනයකින් තමන්ගේ national titles ටික defend කරගත්තා.

හැබැයි නියම අභියෝගය තිබුණේ ජාත්‍යන්තර තලයේ.

CONQUERING EUROPE — INTERNATIONAL KARTING 2010–2013

2010 දී මේ Dutch කොල්ලා prestigious CRG factory team එකත් එක්ක international karting වලට පය තිබ්බා. ආපු ගමන්ම ලෝකෙට තමන් කවුද කියලා පෙන්නපු Max, WSK World Series, WSK Euro Series KF3, WSK Nations Cup, සහ Bridgestone Cup European Final කියන තරඟාවලි ඔක්කොම දිනුවා. ඒ වගේම CIK-FIA KF3 World Cup එකේ දෙවැනියා වුණා. Debut year එකේදීම international titles හතරක්! ඒ වෙද්දී එයාට වයස අවුරුදු 12 යි.

2011 දී ආයෙමත් WSK Euro Series KF3 title එක දිනාගත්තා. විශේෂත්වය කියන්නේ ආබාධයක් නිසා එක round එකක් සම්පූර්ණයෙන්ම මඟහැරිලත් එයා මේක දිනුවේ, තරුණ Esteban Ocon ව දෙවැනි තැනට ඇදලා දාමින්. 2012 දී Intrepid Driver Program එකත් එක්ක රේස් කරපු Max, South Garda Winter Cup KF2 සහ WSK Master Series KF2 දිනුවා. ඊටපස්සේ තමන්ගේ karting legacy එක හදපු season එක වෙනුවෙන් ආයෙත් CRG team එකට ආවා.

ඊටපස්සේ ආවේ 2013 අවුරුද්ද. Max Verstappen මේ sport එකේ දැකපු dominant ම karting season එකක් පෙන්නුවේ මේ අවුරුද්දේ.

වයස අවුරුදු 15 දී එයා South Garda Winter Cup KF2, WSK Euro Series KZ1, සහ WSK Master Series KZ2 දිනාගත්තා. ඊටපස්සේ ලෝක තලයේ ඉතිහාසයක් හැදුවා. CIK-FIA European Championship එකේදී එකම අවුරුද්දක KF සහ KZ European titles දෙකම දිනාගත්තා. ඊටපස්සේ ප්‍රංශයේ Varennes-sur-Allier වල තිබුණු CIK-FIA World Championship එකේදී, gearbox karting වල ඉහළම category එක වුණු KZ වලට enter වුණු Max, හතරවෙනි lap එකේ ඉඳන් lead එක අරන් රේස් එක ඉවර වෙනකම්ම ඒක තියාගත්තා. ඒත් එක්කම CIK-FIA World KZ Championship එකක් දිනපු ළාබාලතම රියදුරා බවට එයා පත්වුණා. මේ ගමනේදී එයා පැරැද්දුවේ පස්සෙ කාලෙක Formula 1 වල එයාගේ ලොකුම rival කෙනෙක් වුණු Charles Leclerc ව.

වයස 15 වෙද්දී Max Verstappen ලෝක karting ශූරයෙක් වෙලා ඉවරයි. ඊළඟ ප්‍රශ්නේ වුණේ එයා ඊළඟට යන්නේ කොයි single-seater category එකටද කියන එක විතරයි.

ONE SEASON TO MAKE THE WORLD NOTICE — FORMULA 3, 2014

2014 මුලදී Florida Winter Series එකේ compete කරපු Max, තමන්ගේ single-seater debut එකට ලෑස්ති වුණේ හිතාගන්නවත් බැරි විදිහකට. Formula Renault සහ Formula 4 සම්පූර්ණයෙන්ම මඟහැරපු එයා කෙලින්ම ගියේ ලෝකයේ තියෙන competitive ම junior category එකක් වුණු FIA Formula 3 European Championship එකට. එයා Dutch team එකක් වුණු Van Amersfoort Racing එක්ක sign කළා. ගොඩක් අය මේ තීරණේ ගැන ප්‍රශ්න කළා. හැබැයි එයාගේ results වලින් ඒ ප්‍රශ්න වලට උත්තර දුන්නා.

එයාගේ පළවෙනි win එක ආවේ Hockenheim වලදී. ඊටපස්සේ Spa-Francorchamps සහ Norisring rounds වලදී පිට පිට රේස් 6ක් දිනන්න මේ තරුණයාට පුළුවන් වුණා. ඒ වගේම prestigious Masters of Zandvoort එකේ pole position එකෙන් start කරලා තත්පර හයකින් රේස් එක දිනලා වයස 16 දී ඒ event එකේ ළාබාලතම ජයග්‍රාහකයා වුණා.

හැබැයි වැදගත්ම පිරිසක් බලාගෙන හිටියේ Norisring වලදී.

ඒ ප්‍රසිද්ධ ජර්මානු street circuit එකේ conditions තිබුණේ හරිම භයානක විදිහට. එක lap එකක් වැස්ස, අනිත් lap එක dry. කිසිම consistency එකක් තිබුණේ නෑ. හැබැයි Max ඒකෙත් dominate කළා. හැම lap එකකදීම එයා grid එකේ හිටපු අනිත් හැම driver කෙනෙක්ටම වඩා තත්පර 2කට වඩා වේගවත් වුණා. Red Bull එකේ legendary motorsport advisor සහ talent spotter කෙනෙක් වෙන Dr. Helmut Marko මේක pitlane එකේ ඉඳන් බලාගෙන හිටියා. එදා එයා දැකපු දේ Formula 1 ඉතිහාසයම වෙනස් කළා.

"මම එයා ඇත්තටම special කෙනෙක් කියලා හිතපු මොහොත තමයි Norisring," Marko පස්සේ කාලෙක මතක් කළා. "Mixed conditions වලදී—dry වලට වඩා wet—එයා හැම lap එකකදීම අනිත් අයට වඩා තත්පර 2ක් හෝ ඊට වඩා වේගවත් වුණා."

Season එක ඉවර වෙද්දී Verstappen තරඟ 33කින් රේස් 10ක් දිනලා තිබුණා—ඒ මුළු championship එකේම driver කෙනෙක් ගත්තු වැඩිම race wins ගාණ. Champion වුණු Esteban Ocon ට සහ Tom Blomqvist ට පස්සේ එයා 3 වැනියා වුණා. හැබැයි numbers වලින් ඇත්ත කතාව සම්පූර්ණයෙන්ම කියවුණේ නෑ. Single-seater වල පළවෙනි සහ එකම season එකේදීම Hasselt වලින් ආපු මේ කොල්ලා පෙන්නපු pace එක සහ racecraft එක නිසා, elite F1 driver කෙනෙක් හදන්න කොච්චර කාලයක් යනවද කියලා experts ලා හිතාගෙන හිටපු දේවල් පවා වෙනස් කරන්න සිද්ධ වුණා.

THE CALL THAT CHANGED EVERYTHING — HELMUT MARKO PICKS UP THE PHONE

Norisring performance එකෙන් පස්සේ Helmut Marko බලන් හිටියේ නෑ. එදාම එයා Jos Verstappen ට කෝල් එකක් ගත්තා.

"ඒ රේස් එකෙන් පස්සේ මම Jos ට කෝල් කරලා කිව්වා: 'Jos, අනිත් ඔක්කොම අමතක කරන්න — අපි ලබන අවුරුද්දේ Formula 1 යනවා' කියලා," Marko පස්සේ කාලෙක කිව්වා. "ඒක කිව්වට පස්සේ සෑහෙන වෙලාවක් අනිත් පැත්තෙන් සද්දයක් තිබුණේ නෑ. " කියල.

Mercedes සහ Red Bull කියන teams දෙකම මේ Verstappen පවුල වටේ කැරකුණේ මේ ඉන්නේ once-in-a-generation talent එකක් කියලා දැනගෙන. හැබැයි Red Bull සහ Marko ඒ රේස් එකෙන් දිනුවා. 2014 අගෝස්තු වලදී Max Verstappen නිල වශයෙන් Red Bull Junior Team එකට එකතු වුණා. ඊටපස්සේ 2014 අගෝස්තු 19 වෙනිදා මුළු paddock එකම හොල්ලපු ඒ නිවේදනය ආවා: මේ අවුරුදු 16ක කොල්ලා 2015 World Championship එකේදී Red Bull ලගේ junior team එක වෙන Scuderia Toro Rosso වෙනුවෙන් රේස් කරනවා කියලා!

මුළු sport එකම මේ ගැන විවාද කරන්න ගත්තා. ගොඩක් අය කිව්වේ මේක ඉක්මන් වැඩියි, අනතුරුදායක වැඩියි කියලා. මේ reaction එක කොච්චර ප්‍රබලද කියනවා නම්, FIA එකෙන් 2016 season එකේ ඉඳන් අලුත් Super License requirements ගෙනාවා — driver කෙනෙක්ට අවම වශයෙන් වයස අවුරුදු 18ක් වෙන්න ඕනේ කියලා. ඒකෙන් Verstappen ගේ 'ළාබාලතම F1 starter' කියන රෙකෝඩ් එක කවදාවත් කාටවත් කඩන්න බැරි වුණා.

හැබැයි වැඩේ එතනින් ඉවර වුණේ නෑ. Super License එක ගන්න Verstappen ඉතාලියේ Adria International Raceway එකේ Toro Rosso කාර් එකකින් laps 148ක් complete කළා. F1 කාර් එකක එයාගේ පළවෙනි run එකට පස්සේ Suzuka (P12), Circuit of the Americas (P10), සහ Interlagos (P6) වල Friday free practice වලටත් සහභාගි වුණා. ඊටපස්සේ Abu Dhabi post-season test එකේදී STR9 කාර් එකෙන් 3 වෙනියට වේගවත්ම time එක තිබ්බා. වයස 17 දී, තමන්ගේ රටේ පාරක සාමාන්‍ය කාර් එකක් පදින්නවත් නීතියෙන් වයස මදි වෙලා තියෙද්දී, එයා F1 කාර් එකක් පැද්දේ හරියට අවුරුදු ගාණක experience තියෙන කෙනෙක් වගේ හරිම natural විදිහට.

THE YOUNGEST IN HISTORY — THE 2015 F1 DEBUT

2015 මාර්තු 15. Melbourne, Australia. Australian Grand Prix එක. Max Verstappen තමන්ගේ ජීවිතේ පළවෙනි වතාවට F1 grid එකට ආවේ වයස අවුරුදු 17යි දවස් 166 දී. ස්පාඤ්ඤයේ Jaime Alguersuari තියන් හිටපු රෙකෝඩ් එක කඩමින් Formula 1 ඉතිහාසයේ debut කරපු ළාබාලතම driver බවට එයා පත්වුණා. 12 වෙනියට qualify වෙලා, රේස් එක අතරතුර 9 වෙනි තැනට ඇවිත් තමන්ගේ පළවෙනි දවසෙම points finish එකකට යද්දී අවාසනාවන්ත විදිහට lap 34 දී engine failure එකක් නිසා එයාට රේස් එකෙන් අයින් වෙන්න වුණා . හැබැයි එයාගේ speed එක සහ පාලනය කාටවත් නොදැක ඉන්න බැරි වුණා.

F1 debut එකෙන් සති දෙකකට පස්සේ Max මැලේසියානු ග්‍රෑන්ඩ් ප්‍රී එකට Sepang International Circuit එකට ගියා. ඒ weekend එකේ හැම free practice session එකකදීම එයා top ten හිටියා. Qualify වෙද්දී 6 වෙනි තැන අරගත්තා. Race day එකේදී තමන්ගේ top-six start එක points finish එකක් බවට පත් කරගන්න මේ Dutch ජාතිකයාට පුළුවන් වුණා. වයස අවුරුදු 17යි දවස් 180 දී, Max Verstappen Formula 1 ඉතිහාසයේ championship points ගත්තු ළාබාලතම රියදුරා බවට පත්වුණා.

එදා ඉඳන් 2015 season එක once-in-a-generation talent එකක් ලෝකෙට පෙන්නපු කාලයක් වුණා. හංගේරියාවේදී 8 වෙනියට පටන් අරන් 4 වෙනියට ආපු drive එක. බෙල්ජියමේ Spa වලදී 15 වෙනි තැන ඉඳන් 8 වෙනි තැනට ආපු charge එක — විශේෂයෙන්ම flat-out Blanchimont corner එකේදී බය හිතෙන වේගයකින් ගිහින් Felipe Nasr ගේ Sauber කාර් එකේ outside එකෙන් දාපු ඒ audacious overtake එක sport එකේ දැකපු සුපිරිම overtake එකක්. Commentator වගේම හිටපු F1 driver කෙනෙක් වෙන Allan McNish මේක දැකලා පුදුම වෙලා කිව්වේ තමන්ගේ ජීවිතේට Blanchimont වල outside එකෙන් දානවා දැකපු පළවෙනි වතාව මේක කියලා. සිංගප්පූරුවේදී team orders වලට විරුද්ධව "NO!" කියලා තදින් දීපු උත්තරය එක්ක ගත්තු P8 එක. ඒ වගේම Circuit of the Americas වලදී ගත්තු 4 වෙනි තැන, Max ම පස්සේ කාලෙක කිව්වේ ඒක එයාගේ ඒ අවුරුද්දේ හොඳම රේස් එක කියලා.

එයා 2015 අවසන් කළේ points 49ක් එක්ක drivers' standings වල 12 වැනියා විදිහට. ඒ අවුරුද්දේ grid එකේ හිටපු අනිත් හැම driver කෙනෙක්ටම වඩා on-track overtakes 49ක් එයා කරලා තිබුණා. දෙසැම්බර් වල තිබුණු FIA Prize Giving Gala එකේදී තීරණය ඒකමතික වුණා. Verstappen ඒ අවුරුද්දේ Rookie of the Year, Personality of the Year, සහ Blanchimont වලදී Felipe Nasr ව overtake කරපු එකට Action of the Year කියන සම්මාන ඔක්කොම දිනාගත්තා.

Formula 1 වලට එන්න තිබුණු ගමන සම්පූර්ණයි. ඒ වගේම Max Verstappen ඉතිහාසයේ වෙන ඕනෑම කෙනෙක්ට වඩා වේගයෙන් ඒ ගමන ඇවිත් තිබුණා.

WHAT CAME NEXT

2016 season එක එද්දී Max Verstappen Formula 1 වලට ගැළපෙනවද කියන එක ගැන paddock එකේ කිසිම විවාදයක් තිබුණේ නෑ. තිබුණු එකම විවාදය වුණේ එයාව ගන්න තරම් ලොකු team එක මොකක්ද කියන එක විතරයි. 2016 රේස් හතරක් යද්දී Red Bull හැමෝටම උත්තර දුන්නා — Verstappen ව senior Red Bull Racing team එකට promote කළා (Spanish Grand Prix එක වෙනුවෙන් Daniil Kvyat වෙනුවට). එයා ගියපු ගමන් පළවෙනි රේස් එකෙන්ම දිනුවා! වයස අවුරුදු 18යි දවස් 228 දී Formula 1 ඉතිහාසයේ ළාබාලතම grand prix winner වුණු එයා, නෙදර්ලන්තයට ඒගොල්ලන්ගේ පළවෙනි Formula 1 ජයග්‍රහණයත් අරන් දුන්නා.

එතනින් පටන් ගත්තු ගමනේදී titles පිට titles ආවා. 2021 ඉඳන් 2024 වෙනකම් පිටපිට ගත්ත ලෝක ශූරතා 4. එයා කඩපු සහ අලුතෙන් ලියපු රෙකෝඩ්ස් ලිව්වොත් පිටු ගාණක් යයි. හැබැයි ඒ කතාවේ හැම chapter එකක්ම ආයෙත් යන්නේ Maaseik වල ඒ ගෙවත්තේ තිබුණු kart එකට, කවදාවත් දෙවැනි තැනට පත්වෙන්න නොදී එයාව තල්ලු කරපු දැඩි තාත්තා කෙනෙක්ට, Helmut Marko ව පුදුම කරවපු Norisring වල වැස්සේ කරපු ඒ performance එකට, සහ ගොඩක් අයට තමන්ගේ ජීවිතේ මොකක්ද කරන්නේ කියලා හිතාගන්නවත් බැරි වයසකදී Formula 1 වලට පය තියන්න තරම් තිබුණු ඒ ධෛර්යයට.

Max Verstappen අනිත් හැමෝටම වඩා කලින් Formula 1 වලට ආවා විතරක් නෙවෙයි, එයා එද්දීම හිටියේ හොඳටම ලෑස්ති වෙලා.

🏆 THAT'S HOW LEGENDS BEGIN

Max Verstappen ආපු ගමන කෙටියි, හැබැයි ඒකේ කිසිම දෙයක් ලේසි වුණේ නෑ. ඒක ගොඩනැඟුණේ දැඩි පීඩනය, අසාමාන්‍ය කැපකිරීම් සහ පරම්පරාවකට එක පාරක් පහළ වෙන natural talent එකක් මත. බෙල්ජියමේ ගෙවත්තක kart එකක ඉඳන් Formula 1 grid එකට එන්න ගියේ දශකයකට පොඩ්ඩක් වැඩි කාලයක් — ඒ ඔක්කොම වුණේ එයාගේ 18 වෙනි උපන්දිනේටත් කලින්.

Formula 1 වලට දක්ෂයෝ ඕන තරම් ඇවිත් තියෙනවා. හැබැයි Max වගේ කෙනෙක් නම් කවදාවත් ඉඳලා නෑ.

ඒනම් පල්ලෙහායින් comment එකක් දාන්න යන්න —EP 02 එකෙන් අපි කා ගැනද කතා කරන්න ඕනේ? ඔයාලගේ vote එකෙන් තමයි ඊළඟ story එක තීරණය වෙන්නේ! 👇

Comments (0)

No comments yet — be the first to join the paddock chat.

Leave a comment